කෝටි 11200ක සීනි කාලා


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පාර්ලිමේන්තුවේදී අද (6)  පැවසීය.

2025 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී පමණක් සීනි කිලෝ කෝටි දාහතරක් ආනයනය කර ඇතැයි පැවසු  අමාත්‍යවරයා ඊට දෙකෝටි හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ  මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සීනි මෙට්‍රික් ටොන් 23600ක් සහ එතනෝල් ලීටර්  2350000ක්  ආයතනවල  පවතින බවද ඔහු සඳහන් කළේය.

රජය සතු  සීනි සමාගම් හතරක් පවතින බවත්  සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම, ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම, සීමාසහිත හිඟුරාණ සීනි කර්මාන්ත  සමාගම,  කන්තලේ සීනි සමාගම එම ආයතන බවත් ඔහු සඳහන් කළේය.

හිඟුරාණ සීනි කර්මාන්ත සමාගම සහ කන්තලේ සීනි සමාගම දැනට ක්‍රියාත්මක තත්වයේ නොපවතින බවද අමාත්‍යවරයා පැවසීය.

"මීට පස්සේ  සුදු සීනි අස්සේ දුඹුරු සීනි ගේන්නත් බෑ. හාල් අස්සේ සීනි ගේන්නක් බැහැ" යැයිද ඔහු සඳහන් කළේය