(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කාර්යාලයන් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 21ක් බවත් එම රෝගීන් යාපනය, පුත්තලම, කොළඹ කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා අද(8) පැවසීය.
පසුගිය දිනවල කෝට්ටේ නාගරික මන්ත්‍රීවරුන් තිදෙනකුට සහ සේවක පිරිසකට කොවිඩ් රෝග ආසාදනය වීම පිළිබඳව ද ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මේ වන විට මන්ත්‍රීවරු තිදෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකු තවමත් ප්‍රතිකාර ලබන බව සඳහන් කළ ඒ මහතා වාර්තා වූ රෝගීන් 21දෙනාගෙන් 10දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවද පැවසීය. එසේ හඳුනා ගනු ලැබූ රෝගීන්ගේ ආශ්‍රිතයන් ලෙස පවුල් 60ක පුද්ගලයන් ස්වයං නිරෝධානය ට යොමු කර ඇති බව ද ඒ මහතා කීය.
එමෙන්ම කෝට්ටේ නගරාධිපති අයි.ඒ.වී ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත පී.සී.ආර් පරීක්ෂණ 250ක් සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 150 නගර සභා සේවක මණ්ඩලය සඳහා සිදු කිරීමට පසුගිය සතියක කාලයක දී පියවර ගත් බවද ඒ මහතා පැවසීය.කෝට්ටේ නගර සභා කාර්යාලයන්හි සේවකයන් ද දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නියුතු වන නමුත් පී.සී.ආර් සහ ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමේදී ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් මෙන්ම අහඹු පරීක්ෂණ සිදු කිරීමට වැඩි අවධානයක් යොමු කළ බව ඒ මහතා පැවසීය
ඒ අනුව ඉංජිනේරුවන්, වරිපනම් අංශය, ගිණුම් අංශය රියදුරු සහ කසල කානු පිරිසිදු කරන අංශයන්,සෞඛ්‍ය අංශයේ සේවක මණ්ඩලය වෙත මෙම පරීක්ෂණ සිදු කළ බව ඒ මහතා පැවැසීය.
වාර්තා වූ රෝගීන් අතර පිටස්තර කලාප වල සිට කෝට්ටේ මහ නගර සභාවට සේවයට පැමිණෙන පිරිස ද සිටි බව සඳහන් කළ වෛද්‍යවරයා මේ වනවිට නගර සභා පරිශ්‍රයේදී හා ව්‍යාප්තිය විශාල වශයෙන් පාලනය කොට ඇති බව පැවසීය.

