කොළඹ වරායට කෝටි 3200 ක ලාභයක්


 

(යොහාන් භාසුර)

කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

කොළඹ වරාය 2024 වසරේ පළමු මාස 8 තුළ රුපියල් බිලියන 18.9 ක ශුද්ද ලාභයක් ලැබූ අතර 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියට 71 ක වර්ධනයක් බවත් එම අධිකාරිය කියයි.

මෙම වසරේ පළමු  මාස 8 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 11 ක ලාභයක් ලබා ඇති බව කියන වරාය අධිකාරිය අඛණ්ඩ සංවර්ධන ව්‍යාපෘති සහ සේවාව කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බහලුම් හැසිරවීම 2024 පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 6 පමණ වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කළේය.