කොරෝනා ආසාදිතයන්ට තවත් ඇඳන් 10,000


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අලුතෙන් ඇඳන් 10,000ක් වෙන් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසුවාය.

මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන්(I.C.U) 104ක් වෙන් කර ඇති බවත් තවත් ඇඳන් 138ක් වෙන් කිරීමට සූදානම් කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය.

වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදී ය .

එසේම රෝහල්වල පවතින ඔක්සිජන් ධාරිතාව ටොන් අසූවක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් ඔක්සිජන් ජම්බෝ සිලින්ඩර හාර දහසක් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති බවත් ඇය පැවසුවාය.

ඉන් හාරසියයක් දැනට ලැබී ඇතැයි දවන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

රටට ඉදිරි කාලයේදී එන්නත් රැසක් ලැබීමට නියමිත බව කි සෞඛ්‍ය ඇමැතිවරිය ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් මේ වර්ෂයේ දී කොටස් වශයෙන් ලැබෙනු ඇතැයි ද කීවාය.

මේ අතර චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු වහා තවත් එන්නත් තොග මෙරටට ලබාදීමට චීන රජය සහතික වී ඇතැයිද ජනතාවට එන්නත් ලබාදීම දිගටම කරගෙන යන්නේ යයිද ඇය පැවසුවාය .

මේ ගෝලීය අර්බුදයේ දී ලෝකයේ කිසිදු රටක විපක්ෂයක් දේශපාලනය යොදා නොගත් බව පැවසූ සෞඛ්‍ය ඇමතිවරිය කොවිඩ් මරණ මංචකය ආසන්නයේ සිටි පුද්ගලයකු ලෙස තමා එහි භයානකකම හොඳින් දන්නා බව ද සඳහන් කළාය.

තමා කොවිඩ් වැළඳී දැඩි සත්කාර ඒකකයේ ඇඳක පවා සිටි කෙනකු යයිද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොරෝනා පාලනය සඳහා රජයට සහාය ලබා දෙන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බව ඇය වැඩිදුරටත් කීවාය.