කොන්දොස්තරගෙන් අල්ලස් ගත් ටිකට් පරීක්ෂකවරු 3ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලංගම බස් කොන්දොස්තරවරයකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ජංගම ටිකට් පරීක්ෂකවරු තිදෙනෙකු අද(06) මහනුවරදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
 
නාවලපිටිය ඩිපෝවට අනුයුක්තව සේවය කරන බස් කොන්දොස්තරවරයකු කළ පැමිණිල්ලකට අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 
ඉකුත් 23 වැනි දින බස් කොන්දොස්තරවරයා සේවය කරමින් සිටි බස් රථය උලපනේ ප්‍රදේශයේදී මෙම ජංගම ටිකට් පරීක්ෂකවරු තිදෙනා පරීක්ෂා කර ඇති අතර, එම අවස්ථාවේ බස් රථය තුළ මගීන් කිහිපදෙනෙකු ටිකට් නොමැතිව සිට ඇතැයි පොලිසිය කියයි.
 
ඒ සම්බන්ධයෙන් කොන්දොස්තරවරයාට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට නම් රුපියල් 20,000ක මුදලක් එම ටිකට් පරීක්ෂකවරු ඉල්ලා ඇත.
 
එම මුදලින් රුපියල් 12,000ක මුදලක් කොන්දොස්තරවරයා ටිකට් පරීක්ෂකවරුන්ට ලබා දී ඇති අතර ඉතිරි රුපියල් 8,000ක මුදල අද(06) ඔවුන් ලබාගනිද්දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.
 
සැකකරුවන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.