කොටහේන ඝාතනයේ වෙඩික්කරු අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේන  99 මහල් නිවාස සංකීර්ණ ඉදිරිපිට දී  පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ හිටපු කොමන්ඩෝ සෙබළෙකු බවත් කුලී ඝාතකයෙක් ලෙස කටයුතු කරන තැනැත්තෙක් බවත් පොලිසිය සඳහන් කරයි.

එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 12 කු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අතර වෙඩි තැබීමට පැමිණි  මෝටර් රථයේ රියදුරු , වෙඩික්කරුට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයා සහ රියදුරුට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයන් දෙදෙනා , හා ආධාර අනුබලදුන් පුද්ගලයන්ද වන බව පොලිසිය කියයි.

ඉකුත් 7 දින රාත්‍රියේ දී  සිදුවූ එම වෙඩි තැබීමෙන් කොටහේන, කොලේජ් වීදිය 16 වන පටු මගේ බුද්ධික ප්‍රනාන්දු නැමති
අය මියගොස් තිබිණි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගන ප්‍රදේශයේ සැඟව සිටියදී ය.

අත්අඩංගුවට ගස් සැකකරු කුලි ඝාතකයෙක් ලෙස කටයුතු කරන තැනැත්තෙක් බවත් පළනි රිමෝෂන් නැමැත්තන් ලබාදුන්  රුපියල් ලක්ෂ පහක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකරුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලක් පමණක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.