කෙහෙළිය සී.අයි.ඩී.යට නොපැමිණීම ගැන පරීක්‍ෂණයක්


(යොහාන් භාසුර සහ රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) හමුවේ ඊයේ (31) දිනයේ පෙනී සිටීමට නොහැකි වූයේ සැබවින්ම වෙනත් අධිකරණ කටයුත්තක් නිසා දැයි විමර්ශනයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඊයේ පෙරවරු 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබියදී කොළඹ මහාධිකරණයේ විභාග වන වෙනත් අධිකරණ කටයුත්තක් ඇති බැවින් පැමිණිය නොහැකි යැයි ලිපියකින් දන්වා තිබූ බවත් අදාල නඩුව හේතුවෙන් ඒ මහතාට පැමිණීමට නොහැකි තත්වයක් තිබුණේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරියා කීය.

රඹුක්වැල්ල මහතා සහභාගි වූ නඩුව ආරම්භ වූයේ කීයටද?, අවසන් වූයේ කීයටද?, ඒ මහතා අධිකරණ පරිශ්‍රය තුළ කොපමණ වේලාවක් ගත කළේද? ඉන් පිටව ගියේ කීයටද? ආදි තොරතුරු ගන්නා බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මෙම විමර්ශනයට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පෙරවරුවේ අධිකරණ සංකීර්ණයේදී පුද්ගලයන් කීපදෙනකුගෙන් ප්‍රකාශ ගෙන ඇති බව ද වාර්තා වේ.