(මනෝප්‍රිය ගුණසේකර)
තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ අද දැනුම් දුන්නේය.
මෙම නඩුවේ ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” අවසන් කොට නඩුවේ විභාගය ආරම්භ කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතීඥ රංජිත් හීල්ලගේ මහත්වරු ඇතුළු නීතීඥවරු මුලික විරා්ධතාවයක් මතු කරමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අල්ලස් කොමිසම ආරම්භ කර ඇත්තේ නීතීවිරෝධී අන්දමින් වන හෙයින් නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට කරුණු ඉදිරිපත් කළහ.
වර්ෂ 2010ක් වූ නොවැම්බර් 22 දින සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියග් 44000/-ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට අනුව විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරිණී.

