( තිළිණි ද සිල්වා )
ගොවිජන මන්දිරය අතහැර දමා කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ලට පැමිණියද එම ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් අඩුවක් තිබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය.
ඇය මේ බව සඳහන් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 කට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදි සිදුව ඇතැයි කියන වංචාව හා රජයට සිදුව ඇතැයි කියන පාඩුව සම්බන්ධයෙන් එම ජනාධිපති කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී දෙවැනි වරටත් කොමිසම හමුවේ සාක්කි ලබා දෙමිනි.
විශාමලත් ශ්‍රේඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස් පුද්ගල කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් සාක්කි ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරිය කියා සිටියේ ගොඩනැගිල්ලේ පහසුකම් ලබා ගැනීමට , භාණ්ඩ ආදිය ලබා ගැනීමටත් රුපියල් මිලයන 466 ක මුදලක් ලබා ගත් බවය.
එම මුදල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා ලබා ගැනීමට සිදු වූ බව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියාය.
අදාළ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලට රජය රුපියල් මිලියන 13.5ක් තක්සේරු කළත් රුපියල් මිලියන 21ට මෙම ගොඩනැගිල්ල මිළදී ගත් බව ලේකම්වරිය කියා සිටියාය.
මෙම පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 23 වැනිදා 9.30ට කල් තැබූ අතර එදිනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයාටද මේ සම්බන්ධයෙන් සාක්කි දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කෙරිණි .

