කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ 54ක් ශ්‍රී ලංකාවට


( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද(16 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

 මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනෙකු සහ එක් ගෘහ සේවකයෙකු සිටි අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර , ඉතිරි පිරිස පොළොන්නරුව , මොණරාගල , ගාල්ල , මාතර ආදී දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති .

මොවුන්  තම ගිවිසුම් ගත රැකියා ස්ථාන වලින් පළා ගොස්  දීර්ඝ කාළයක්     කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථාන වල වැඩි වැටුපකට රැකියා වල නිරත වී සිට , පසුව ඔවුන් රෝගී තත්වයන්ට ගොදුරු වීම  , ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පවුල්  වල ගැටළු මතු වීම  , සිය වයස් සීමා ඉක්ම යාම වැනි හේතු නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කර තිබේ .

ඒ අනුව  මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර , ඉන්පසුව එම තානාපති කාර්යාලීය නිලධාරීන්  එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිසිය සහ අධිකරණය සමග එක්ව කටයුතු කර තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර  මෙසේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරටින් පිටුවහල් කර එවා තිබුණි .