කුරුණෑගල නගරාධිපති පෙර ඇප මත මුදා හරී


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

කුරුණෑගල මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පෙර ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (17) නියම කළාය.

පසුගිය ජූලි 25 දා නගරාධිපතිවරයාට එරෙහි නඩුව මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විදේශගත වී සිටීම හේතුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම මත මහාධිකරණ විනිසුරුවරිය විසින් නගරාධිපතිවරයාට වරෙන්තු නිකුත් කළාය.

පසුව අගෝස්තු 9 දා නගරාධිපති මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී ඉදිරි නඩු දිනය වූ අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙතෙක් පැවැති නඩු දිනයන් වලදී ඉදිරිපත්ව තිබීම ගැන අවධානය යොමු කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට අවවාද කරමින් මහාධිකරණ විනිසුරුවරිය පෙර ඇප මත නගරාධිපතිවරයා මුදාහැරීටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් බාරයට ගැනීමට  නියෝග කළාය .

පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බියගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විතාරණ මහතා ඇතුඵ පුද්ගලයන් සිව් දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා  තිබේ.