කුඩු සමග ඇල්ලූ සජබ අපෙක්ෂක ඇතුළු පිරිස රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

දකුණු මුහුදේදී නාවික හමුදා භාරයටත් ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් කිලෝ 300කට අධික මත්ද්‍රව්‍ය තොගය ආනයනය , සන්තකයේ තබා ගැනීම , ජාවාරම් කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කල සමගි ජන බලවේගය පක්‍ෂයේ පන්නල සඳලංකා හිටපු පළාත් පාලන අපේක්ෂක ඇතුළු සැකකාර ධීවරයන් හත් දෙනා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්තේ යැයි කියන අයිස් කිලෝග්‍රෑම් 261ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 115ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටද නියෝග කෙරිණි.

මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ යාත්‍රාවේ ජී.පී.එස් යන්ත්‍රය රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා යාත්‍රාවේ තිබී අත්අඩංගුවට ගත් ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සහ තවත් උණ්ඩ රඳවනයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියම කළේය.

දින හතක් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි යාත්‍රාවේ හිමිකරු නොයෙල් රංජිත් ප්‍රනාන්දු, ධීවරයන් වන දුලාන් සජිත් අකලංක,නුවන් පුෂ්ප කුමාර,නීල් පනාන්දු,නිල්මන් ද සිල්වා,දිනූෂ රුවන් කුමාර සහ ආධාර අනුබල දුන්නේ යැයි කියන සමගි ජන බලවේගය පක්‍ෂයේ පන්නල සඳලංකා හිටපු පළාත් පාලන අපේක්ෂක වසන්ත පුෂ්ප කුමාර යන සැකකරුවන්‍ වේ.

නඩු භාණ්ඩ හා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම උණාකූරුවේ ශාන්ත නමැති අය විසින් සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බවය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් පළමු සැකකරුට රුපියල් ලක්ෂ විසි පහක මුදලක් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වන බවද පැවසීය.

සැකකරුවන් සම්බන්ධයෙන් දුරකථන දත්ත වාර්තා ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරන බවත්,මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය හෙළි කර ගැනීමට විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.