කිරි වීදුරුව වෙනුවට සහල් කැඳ වීදුරුවක්


රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීමට සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ යෝජනාවට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟතාවය පළකළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ ගොවිජන මන්දිරයේදී අද(27) පැවැත්වූ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණය, අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවතින බවද, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද ගැටලුවක් බව පෙන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලධාරීහු ඊට පිළියමක් වශයෙන් වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳවීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව පෙන්වා දුන්හ.

ඒ අනුව, පාසල් දරුවන්ට සහල් කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩසටහනේ ශක්‍යතා අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගී වූහ.