
(යොහාන් භාසුර)
අක්‍රමවත් ලෙස බැහැර කළ ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියෝ මරදාන දුම්රිය ස්ථානයේ මගී ආසනයක් නිර්මාණය කළහ.
එම විශ්වවිද්‍යාලයේ ZeroPlastic සමාජයේ, Community engagement avenue විසින් සංවිධානය කරනු ලබන Bloom Morph ව්‍යාපෘතිය මඟින් Katana Upcycl ආයතනයේ ද සහයෝගය ඇතුව, මරදාන දුම්රිය ස්ථානයේද පූර්ණ අධීක්ෂණය සහිතව , මරදාන දුම්රිය ස්ථානයේ හා දුම්රිය මාර්ගවල තිබූ ප්ලාස්ටික් බෝතල් මූඩි භාවිතයෙන් එම මගී ආසනය නිර්මාණය කර තිබේ.
පරිසර අපවිත්‍ර කරන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමානුකූලව භාවිතා කරමින් ඵලදායී නවෝත්පාදනයක් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූ අතර එම වේදිකා බංකුව මරදාන දුම්රිය ස්ථාන අධිකාරී කපිල පුෂ්පකුමාර මහතාගේ සුරතින් මරදාන දුම්රිය ස්ථානයේදී මගී ජනතාවගේ භාවිතය සදහා අද (5) විවෘත කළේය.
ශ්‍රී ලංකාව තුළ පවතින පොදු ප්‍රවාහන මාධ්‍ය අතරින් මගීහු විශාල ප්‍රමාණයක් දුම්රිය දෛනිකව භාවිතා කරනු ලබති. දුම්රිය භාවිතා කරන මගීන් අතුරෙන් බහුතරයක් දුම්රිය භාවිතය කරන විට තමන් භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් දුම්රිය මාර්ග ගවලට සහ දුම්රිය ස්ථාන වල අක්‍රමවත් ලෙස බැහැර කිරීම සුලභව දකිය හැකිය.
විශේෂයෙන් දුම්රිය මාර්ග දෙපස සහ ස්වභාව සෞන්දර්‍යයෙන් පිරි උඩරට දුම්රිය මාර්ගය වැනි සුන්දර පරිසර පද්ධතිවලට හානි ඇතිකරන සිදුවීමක් බවට වර්තමානයේ පත්ව තිබේ.



