
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා මෙම සංගමය ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා මෙහි ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය.
මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර දශක හතක් මුළුල්ලේ පැවතෙන දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා අගය කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ 9 වන විශාලතම අපනයන වෙළඳපොළ කැනඩාව වන බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය.

