
(ජයන්ත සරමකෝන්)
විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින කාන්තා රැඳවියන්ගේ බාල වයස්කාර දරුවන් 46දෙනෙකු නිදහස් කිරීමට සලකා බැලීම සඳහා සකස් කළ සවිස්තර වාර්තාවක් අද හෙටම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට අද(26) පැවසුවාය.
අවුරුදු 5ට අඩු දරුවන් 41දෙනෙකු ම සිය මව්වරුන් සමඟ රිමාන්ඩ් බාරයේ පසුවන අතර, ඉතිරි 5දෙනා සිය මව්වරුන් සමඟ සිර දඬුවම් විඳින බවද එම වාර්තාවේ දැක්වේ.
ගර්භනී සමයේදී සහ අලුත උපන් දරුවන් සිටින අතරතුරදී බන්ධනාගාරගත වී ඇති මෙම කාන්තා රැඳවියන්ගේ අවුරුදු 5ට අඩු දරුවන් අධිකරණ නියෝග මත මව්වරුන් බාරයේ දිවයිනේ විවිධ බන්ධනාගාරවල රඳවා ඇත.
මෙම දරුවන් නිදහස් කර ගැනීම සඳහා ගතයුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුකළ අගමැතිවරයා පසුව රාජ්‍ය ඇමැතිනිය වෙතින් මෙම වාර්තාව කැඳවා තිබුණි.

