ක්‍රිකට් සභාපති ඇමැතිට කළ තර්ජනයක් ගැන විමර්ශනයක්


(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන්  විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (22) කරුණු වාර්තා කළේය.

එසේම, මෙයට සමගාමීව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දුරකතනය ඔස්සේ කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අංක 10, සිරිසගබෝ පෙදෙස, බැදිවැව, පොළොන්නරුව ලිපිනැති ක්‍රීඩා අමාත්‍ය රණසිංහ ආරච්චිගේ රෝෂාන් රණසිංහ මහතා විසිනි.

ඒ අනුව, ඉකුත් 11 වැනිදා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට අදාළව සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට ලබා මාධ්‍ය ආයතන කිහිපයකින් ලබාගනිමින් මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එසේම, ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශකවරයා කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවිම සදහා අදාළ දුරකතන සමාගම්වලින් වාර්තා කැදවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.