කසළ කන්ටේනර් ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) 
 
කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන, එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කසළ අඩංගු කන්ටේනර් පරීක්ෂා කර රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (29) රස පරීක්ෂකවරයාට නියෝග කළේය.
 
අධිකරණය මෙසේ නියෝග කළේ එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කසළ යළි එරටට යැවීමට නියෝග කරන ලෙසද ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසළ ලංකාවට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ රිට් පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
 
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියාසිටියේ මෙම පෙත්සමේ අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ඉදිරිපත් කර නොමැති බැවින් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙසය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ චාරුක ඒකනායක මහතා මෙවැනි ඉවත් නොකළ කන්ටේනර් විශාල ප‍්‍රමාණයක් විවිධ ස්ථානවල තිබෙන බව කියා සිටියේය.
 
අධිකරණයේ අවසරය පරිදි පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා සංශෝධන පෙත්සම වෙනුවෙන් දීර්ඝ ලෙස වැඩිදුර කරුණු දැක්වී‍ෙ හෙට(30) දිනට කල් තැබිණි.
 
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
 
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි. ජීව විද්‍යා උපාධිධරයෙකි.

සායනික අපද්‍රව්‍ය, ඉවතලන ප්ලාස්ටික්,  මෙට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත. මෙම විදෙස් කසළ ලංකාවට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය. මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම , ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.
 
මෙම විදේස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.
 
මෙවැනි ක‍්‍රියාවන් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත. මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.
එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන්හි සිට කසළ ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද මෙවැනි විදෙස් කසළ ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

නීතීපති වෙනුවෙන් රජයේ නීතීඥ චාරුක ඒකනායක මහතා පෙනී සිටියේය.