කසකස්තාන අපරාධකරුවකු කටුනායකින් හරවා යවයි


(ටී.කේ.ජී.කපිල)
 

සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ, ජාත්‍යන්තර පොලීසියේ රතු දත්ත ලේඛනයේ සඳහන් කසකස්තාන ජාතිකයකු අද (10) ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. 

බොටබායෙව් නූර්සාන් නැමැති මොහු 40 හැවිරිදි කසකස්තාන ජාතිකයෙකි. කසකස්තාන රජය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබීම හේතුවෙන් මොහු වසර 15 ක පමණ කාලයක සිට කසකස්තාන රාජ්‍යය වෙත නොගොස්, ඩුබායිහි සිය බිරිඳ සමග රැදී සිටින  බවද පැවසේ.
               
මොහු අද උදෑසන 8.30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත පැමිණ, මෙරටට ඇතුළුවීමට වීසා අවසර ලබා ගැනීම සදහා සිය ගමන් බලපත්‍රය, එහි රාජකාරියේ නියැලී සිටි ආගමන විගමන නිලධාරීවරයා වෙත භාර දී තිබේ. ගමන් බලපත්‍රය ආගමන විගමන ප්‍රත්‍යන්ත පාලන තොරතුරු පද්ධතියට ඇතුළත් කළ විට, මොහු මෙරටට ඇතුළත් කර ගැනීමට නුසුදුසු අනතුරුදායක පුද්ගලයෙකු ලෙස එහි සටහන්ව ඇති බව පෙන්නුම් කර තිබේ.
 
අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා මෙම පුද්ගලයා සහ ඔහුගේ ගුවන් ගමන්  බලපත්‍රය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කළ අතර, එහිදී අනාවරණය වූයේ මෙම බලපත්‍ර අංකය සහ නම ජාත්‍යන්තර පොලීසියට (Interpol ) අයත් රතු දත්ත පද්ධතියෙහි ද ඇතුළත්ව ඇති, කසකස්තානයේ සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.
 
ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන විට ඔහු පවසා ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බවයි.
 
1948 ආගාමික සහ විගාමික පනතෙහි ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන තැනැත්තන්, ශ්‍රී ලංකාවට ඇතුළුවීම පාලනය කිරීම යන ශීර්ෂයෙන් යුතු 3 වන කොටසෙහි විධිවිධාන වලට අනුව මොහු නැවත, ඔහු පැමිණි රටටම ආපසු පිටුවහල් කර යැවීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් ක්‍රියා කර තිබුණි.
 
කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක සුජීව රත්නායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ, ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩබ්ලිව්.ටී.එල්.වික්‍රමසිංහ, කේ.ඩී.එස්.ශ්‍රියාරත්න , ආගමන විගමන නිලධාරී යූ.ඩී.ටී.මනුප්‍රිය යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වති.