කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි


(කුෂාන් ජයවර්ධන)

පවතින අධික වර්ෂාවත් සමඟ කලාවැව හදිසි වාන් දොරටු දෙකක් අද(25) අඩි 02 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමඟ එමඟින් මේ වනවිට තත්පයට ඝණ අඩි 2640ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවති. 

කලාවැව හදිසි වාන් දොරටු අඩි දෙක දක්වා විවෘත කිරීමත් සමඟ මේ වනවිට කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ තිබේ. එම මාර්ගයේ අවුකන විහාරස්ථානය අසලින් කලාඔය පිටාර ගැලීමෙන් එම මාර්ගය ජලයෙන් යටව තිබීම ඊට හේතුවයි. 

කලාවැව සමස්ථ ජලධාරිතාවය අද(25) සවස් වනවිට අක්කර අඩි 87097ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පවතින වැසි තත්වයත් සමඟ තත්පරයට ඝණ අඩි 5070ක ජල ප්‍රමාණයක් අද(25) සවස් වනවිටත් කලාවැවට එක්වෙමින් පැවැතිණ.

තවදුරටත් කලාවැව ආශ්‍රිත ප්‍රෙද්ශයන්ට වැසි ලැබෙමින් පවතින අතර පවතින වැසි තත්වයත් සමඟ තවදුරටත් කලාවැව ජල මට්ටම ඉහළ ගියහොත් එම හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවිය හැකි බවකලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසයි.