කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්


(නිමන්ති රණසිංහ)

කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (9) කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවේ ප‍්‍රකාශ කළේය.

එමෙන්ම එම ප‍්‍රකාශවලින් ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ සිදුකරමින් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීන් හත්දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

ඒ අනුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’, සංජීව ප‍්‍රසාද් තිලංග සේනාරත්න, අන්නච්චි නොහොත් ඉඹුලාවල උපුල් චමින්ද, හෙට්ටි හැන්දි, වර්ණකුලසූරිය ඇන්ටන් ප‍්‍රනාන්දු, සහ නාවික හමුදා සුළු නිලධාරී සම්පත් ජනක කුමාර, යන අයවලූන්ය.

 

 (ඡායාරූපය- ලහිරු හර්ෂණ)