කඳුකර දිවියෙක් කම්කරු කාන්තාවන් වෙත කඩා පනී



(රංජිත් රාජපක්ෂ)                      

බගවන්තලාව පොලිස් වසමට අයත් ‘කිවු’ තේ වත්තේදී, වැඩ කරමින් සිටි කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට අද (26) දිවියෙකු කඩාවැදීම හේතුවෙන් එම කාන්තාවන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

තේ වත්තේ ගසක් මත නැග සිටි දිවියෙකු එක්වරම ගසේ අත්ත සමග කඩා වැදී තමන් දෙසට පැන පලා ගිය බවත්, දිවියාගෙන් බේරීමට දිව යන අවස්ථාවේ තමන්ට තුවාල සිදු වු බවත් සිද්ධියෙන් තුවාල ලබා බගවන්තලාව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවෝ කියාසිටියහ.

තමන් සමග නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් වැඩ කරන ස්ථානවලට පැමිණෙන බවත්, එසේ පැමිණෙන සුනඛයින් දඩයම් කිරීම සඳහා දිවියන් තේ වත්තට පැමිණෙන්නට ඇති බවත් ඔවුහු කියාසිටියහ.

කිවු තේ වත්තේ සැරිසරන දිවියන් රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.