
(ටී.කේ.ජී. කපිල)
ගත වූ පැය 24 ක කාලය තුළ, එනම් අද (20) සවස 4.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් 1,702 ක් වාර්තා වී ඇති අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 268 දෙනෙකු බවද ඈපා මහතා පැවසීය.
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට පරිබාහිරව පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් ගත වූ පැය 24 ක කාළය තුළ කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී නොමැත.
ඒ අනුව එම කර්මාන්තශාලා වලින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 25 ක් බවත්, ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් සොයා සමස්ථ පී.සී.ආර්. පරීක්ෂණ 25,971 ක් සිදු කර ඇති බවත් ඈපා මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර කටුනායක සීදුව මහජන සෞඛ්‍ය කොට්ඨාසය තුළ අද සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 23 දෙනෙකු හදුනා ගෙන ඇති අතර ඔවුන් දොම්පේ සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
එම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 280 ක් බවද කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

