(ටී. කේ. ජී. කපිල )
කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා එහි සේවකයින් 05 දෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට එරෙහිව එහි සේවකයෝ දින 07 ක සිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නියැලී සිටිති.
මෙම කර්මාන්තශාලාව බ්‍රිතාන්‍යයට අයත් ආයෝජන ව්‍යාපෘතියකි. කර්මාන්තශාලාවට අයත් තවත් කර්මාන්තශාලා 05 ක් ඇති අතර, මෙම කර්මාන්තශාලාවේ පමණක් සේවකයෝ 1200 ක් පමණ සේවය කරමින් සිටිති.
මෙම සේවකයින් තම සේවක වෘත්තීය සමිතිය පිහිටුවා වසර දෙකක් සපිරීම නිමිත්තෙන්, ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් මස ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කර, ඒ පිළිබඳව දැන්වීමක් සේවක නිර්මාණ ඉදිරිපත් කරන "කැට්පත් පවුර'' නැමැති දැන්වීම් පුවරුවේ අලවා තිබේ.
මෙයට උරණ වූ කම්හල් පාලනාධිකාරිය ඊට මුල් වූ සේවක වෘත්තීය සමිතියේ නායකයින් 05 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පසුව පසුගිය 11 වැනි දින උදෑසන 8.00 ට මෙම කම්හලේ මානව සහ පිරිස් පාලන අංශයට මෙම සේවකයින් කැදවූ කම්හල් පාලනාධිකාරිය එම විනය පරීක්ෂණයේ අවසාන නිගමනය ප්‍රකාශයට පත් කරමින් මොවුන් 05 දෙනා සේවයෙන් නෙරපා හැර තිබේ.
මෙයට එරෙහිවූ සේවකයින් මේ පිළිබඳව මීගමුව සහකාර කම්කරු කොමසාරිස් හමුවේ පැමිණිලි කළ අතර, කම්හල ගත් එම තීරණයට එරෙහිව අඛණ්ඩ සේවක විරෝධතා ව්‍යාපාරයක් ද එදින සිටම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට ආරම්භ කර තිබුණි.
රැකියා අත් හිටුවීමකට ලක් වී ඇති මෙම සේවකයින් මෙම කම්හල වෙනුවෙන් දීර්ඝ කාලීනව ඉටු කර ඇති මෙහෙය වෙනුවෙන් රන් තිළිණවලින් පිදුම් ලැබීමට නිර්දේශ වී ඇතත්, වර්තමාන තත්ත්වය මුල් කරගනිමින් කම්හල් පාලනාධිකාරිය මොවුන්ට මෙම තිළිණ ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව මෙසේ විරෝධතා දක්වන සේවකයෝ පැවසූහ.
මෙම කම්හල් පාලනාධිකාරිය ආරක්ෂක අංශය ඇතුළු අනෙකුත් කාර්යාලීය නිලධාරී පුරප්පාඩු සදහා විශ්‍රාමික පොලිස් සහ හමුදා නිලධාරීන් බදවා ගනිමින් කම්හල තුළ හමුදා පරිපාලනයක් ඇති කරමින් සේවකයින් පීඩනය පත් කිරීමට ද උත්සාහ ගන්නා බවට ද මෙම සේවකයෝ චෝදනා කළහ.
මෙම දැන්වීම ඇලවූ බව පිළිගත් මෙම කර්මාන්තශාලාවේ තවත් සේවකයෙකු අවවාද ලිපියක් නිකුත් කර දිගටම මෙම කම්හලේ සේවයෙහි තබා ගෙන ඇති බව පවසන මෙම විරෝධතා දක්වන සේවක පිරිස, මෙසේ අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ මෙම වෘත්තීය සමිති නායකයින් යළි සේවයේ පිහිටුවන තුරු මෙසේ අඛණ්ඩව අරගල කරන බවද පැවසීය.