
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයත් සමඟ තරමක පසු බෑමකට ලක්වූ ඖෂධ සම්බන්ධ වැටලීම් මෙම වසරේ ඉහළ දමන බවත් පාසල් ආශ්‍රිත මත්පෙති අළෙවි සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥා වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අද (25) පැවසීය.
මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්‍ෂකයන් ශක්තිමත් කළ යුතු බවත් ඒ නිසා එම නිලධාරීන් අවශ්‍ය පහසුකම් දීමට කටයුතු කරන බවත් ගුණසේකර මහතා කීය.
ඖෂධ නියාමන අධිකාරියේ කොටසක් වන දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්‍ෂකයන් ජාලය මත වැටලීම්වල සාර්ථකත්වය රඳාපැවතීම නිසා ඔවුන්ට විශාල වගකීමක් පැවරෙන බව ද එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්‍ෂක බලයලත් නිලධාරීන්ගේ 2022 වසරේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වෙමින් විශේෂඥා වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එසේ පැවසීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


