ඖෂධ- ආහාර හොඳ නරක බලන්න පරීක්ෂණාගාරයක්


 

(අංජුල මහික වීරරත්න)

ඖෂධ, ආයුර්වේද, ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ආදී සියලු ක්ෂේත්‍රයන්ට අදාලව ප්‍රමිතිය පරීක්ෂා කළ හැකි  අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ලෝක ඖෂධවේදීන්ගේ දිනය  නිමිත්තෙන් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සංවිධානය කළ “ලෝක ඖෂධවේදීන්ගේ දිනය - 2025” සමරු උත්සවයයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙම සැමරුම් උත්සවය  කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

ජගත් ඖෂධවේදී සම්මේලනයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත්, එක්ව සැප්තැම්බර් මස 25 දිනය ලෝක ඖෂධවේදී දිනය ලෙස නම් කර ඇති අතර, ලොව පුරා රටවල් 158 ක මිලියන 04 කට ආසන්න සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත ජගත් ඖෂධවේදීන්ගේ සංගමය ඖෂධවේදීන්, ඖෂධ තාක්ෂණවේදීන්, ඖෂධ විද්‍යාඥයින් සහ ඖෂධවේදී ආචාර්යවරුන්ගෙන් යුක්ත වේ.

ලෝක ඖෂධවේදීන්ගේ දින තේමා පාඨය වන “සෞඛ්‍යය ගැන සිතන්න, ඖෂධවේදියා ගැන සිතන්න”  (Think Health, Think Pharmacist)  යන්න කර ගනිමින් මෙවර ලෝක ඖෂධවේදී දිනය සැමරීමට මෙරට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පියවර ගෙන තිබුණි.