ඔක්සිජන් පිට කෝවිඩ් රෝගීන් 593ක් රට පුරා රෝහල්වල


(සුජිත් හේවාජුලිගේ )

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් 593 දෙනෙකු දිවයින පුරා රෝහල්වල දැනට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය .

මේ අතර රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් හා සිංගප්පුරුවෙන් ගෙන්වීමට කටයුතු කරගෙන යන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව පසුගිය මාසයේ පැවතුණේ 272ක් වශයෙනැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙමින් තිබෙන නමුත් රෝගීන් සඳහා රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් තොග දැනට පවතින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ වැඩිවීම බස්නාහිර පළාතේ ප්‍රබලව කැපී පෙනෙන බව පවසන වෛද්‍ය විශේෂඥයෝ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය වැඩිවීමට ප්‍රධාන හේතුව ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වීම විය හැකි යැයි සැක පළ කරති.

මේ අතර කොළඹ රෝගීන් 1000ක් ගතහොත් ඉන් තුන් සියයක්ම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූවන් යැයි අනුමාන කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.