එල් බෝඩ් දැම්මොත් පුංචි ආණ්ඩු වලටත් පාර්ලිමේන්තුවේ සන්තෑසියමයි


(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන වල සභාපති ධූර සඳහා පළපුරුද්දක් නැති නියෝජිතයින් පත් කළහොත් පාර්ලිමේන්තුවට සිදුවී ඇති සන්තෑසියම පළාත් පාලන ආයතන වලත් සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

පළාත් පාලන ආයතන වල ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යනුවෙන් කොටස් දෙකක් නැතැයි කී අබේවර්ධන මහතා ඒවායේ කටයුතු සිදුවන්නේ වෙනම ක්‍රමවේදයකට බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල, මාපලගම අතුල දර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බෝධි ප්‍රාකාරය සඝ සතු කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

විහාරාධිකාරී මාපලගම ධම්මික හිමියන්ගේ  අනුශාසකත්වයෙන් වජිර අබේවර්ධන මහතා ද මාපලගම ප්‍රදේශවාසී  දායකයන්ගේ සහයෝගයෙන් මෙම බෝධි ප්‍රාකාරය ඉදිකර තිබේ.

ජනතාව පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයින් පත් කළාට පසු බහුතරයේ කැමැත්ත අනුව ක්‍රියාකළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා  තනතුරු වලට පත් කළ යුතු වන්නේ පළපුරුද්ද තිබෙන අය බව සඳහන් කළේය.