එම්සීසී ගැන මහජන අදහස් විමසයි


(නාලක සංජීව දහනායක)

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම අධ්‍යයනය කිරීමට පත්කළ විද්වත් කමිටුව තීරණය කර තිබේ.

යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධව මෙන්ම එහි අන්තර්ගතය සහ ගිවිසුම අත්සන් කිරීමෙන් රටට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ඕනෑම ආයතනයක, පුද්ගලයකුට හෝ සංගමයකට තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව මේ අනුව හිමිවනු ඇත.

ඒ අනුව ලබන මස 15 වැනිදාට පෙර  ‘සභාපති, එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ-03’ යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිය යුතු යැයි තීරණය කළහොත් කමිටුව ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වීමේ අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.

එබැවින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේදී සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, විද්‍යුත් ලිපිනයන් ද සඳහන් කරන ලෙස විද්වත් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.