එන්නත නොගත් අයට තවත් පහසුකම්


(ඩයනා උදයංගනී)

වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

මෙරට වයස අවුරුදු 18ට වැඩි සමස්ත ජනගහණයට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත් මාත්‍රා දෙකම ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇතැයි කී ජනාධිපතිවරයා තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් බව කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ ජනාධිපති කාර්යාලයේ අද (06) පෙරවරුවේ පැවති හමුවක් අමතමිනි.

කොවිඩ් ආසාදිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාම නිසා ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.