
(ඉන්දිකා රාමනායක)
නයිලෝන් මිශ්‍ර ටයර් රැහැන් බව පවසමින් නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබු එතනෝල් ලීටර් 15,300 ක ප්‍රමාණයක් සහිත බහාලුමක් රාජසන්තක කළ බව රේගුව පවසයි.
මෙම වංචාවෙන් රජයට රුපියල් කෝටි 2 ට ආසන්න බදු මුදලක් අහිමිව ඇති බවද රේගුව කියයි.
මහනුවර ව්‍යාපාරියකු විසින් ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර ඉකුත් වසරේ මැයි මස චීනයේ ෂැන්හයි වරායේ සිට මෙම බහාලුම මෙරටට එවා තිබු බව රේගු ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයෙන් මෙම වංචාව හෙළිව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මස ව්‍යාපාරිකයා ඇතුලු සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 7 ක දඩයක් නියම කර තිබු බවද රේගු ආරංචි මාර්ග පවසයි.
මෙම බහාලුමේ බැරල් 80 තුළ මෙම එතනෝල් තිබු බවත් එතනෝල් වල වටිනාකම රුපියල් ලක්ෂ 20 ට අධික බවද පැවසේ.
මෙම එතනෝල් බහාලුම අද (20) තොටළග ග්‍රේලයින් අංගනයේදී මුල් වරට මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට රේගුව පියවර ගත්තේය.
මේ අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
කන්ටේනරයේ තිබු එතනෝල් සහිත බැරල් රේගු අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික මේජර් ජනරාල්) විජිත රවිප්‍රිය මහතා ඉදිරියේ රේගු නිලධාරීන් පරීක්ෂාවට ලක් කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


(ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ)

