(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙස ඉල්ලා එම පැමිණිල්ලේ වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (12) සිය විරෝධතා ගොනු කළේය .
විදානපතිරණ ඇසෝසියේට් නීතීඥ සමාගම මාර්ගයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ගොනු කර ඇති විරෝධතා මගින් පෙන්වා දී ඇත්තේ පැමිණිලිකරු නිවැරදි තොරතුරු යටපත් කර උපරිම විශ්වාසයේ මූලධර්මය කර ඇති බවත් , යහපත් චේතනාවෙන් පැමිණිලිකරු අධිකරණයට පැමිණ නැති බවයි.
එසේම මෙම පැමිණිල්ල බැලු බැල්මට නඩු නිමිත්තක් නොමැතිව , සිවිල් නඩු විධාන සංග්‍රහයේ 15, 16,40 සහ 46(2) වගන්තීන් වලට පටහැනිව ගොනු කෙරුණු පැමිණිල්ලක් බවද වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා මගින් අධිකරණයට පෙන්වා දී ඇත.
2020/01/30 වැනි දින කෘත්‍යාධිකාරි මණ්ඩලය සන්ධානයකින් ලබන මහමැතිවරණයට තරග කිරීමට තීරණය කළ අතර එම සන්ධානයේ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස නම් කිරීමටද තීරණය වූ බවත් , මෙම සන්ධානයේ ව්‍යවස්ථාව සහ සලකුණ පිලිබද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කෙරුණු බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා වලින් කියා සිටී.
තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් මාර්තු 04 වැනිදා සමගි ජනබලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කර එහි සභාපති ලෙසින් සජිත් ප්‍රේමදාස සහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කර ඇති බවට දැනුම් දී තිබූ බවද එජාප මහලේකම්වරයා අධිකරණයට පෙන්වා දේ.
එබැවින් මෙම ක්‍රියාව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් වන හෙයින් සමගි ජන බලවේගය ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙසත් , වාරණ නියෝගය සහ අතුරු නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙසද වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා මගින්. වැඩිදුරටත් ඉල්ලා ඇත.
සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ,උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

