(යොහාන් භාසුර)
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අද (6) පැවැත්විණි.
ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා පිළියම් සෙවීම සහ අධ්‍යාපනික සහ පාලන සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.
නිපුණ ශ්‍රම බලකාය පෝෂණය කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ආර්ථික අවශ්‍යතා සමඟ පෙළගැස්වීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, විනිවිදභාවය සහ වගවීම සඳහා රජයේ කැපවීම පිළිබඳව ද මෙහිදී සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ කාර්යභාරය පිළිබඳව ද මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික සමානාත්මතාවයේ අන්‍යෝන්‍ය අරමුණු සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ කැපවීම පිළිබඳ මෙහිදී යළි තහවුරු කළේය.
එක්සත් ජනපද නියෝජිත පිරිසට යූඑස්ඒඅයිඩී ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් මහත්මිය, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග් මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ.
ශ්‍රී ලංකා නියෝජිතයන් අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි සහ ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගිවූහ.