උමාචන්ද්‍ර ප්‍රකාශ් - ආරුමුගම් ජොන්සන් සජිත්ට සහය දෙති


(නිමල කොඩිතුවක්කු)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායිකා සහ කොළඹ නාගරික මන්ති‍්‍රනී උමාචන්ද්‍ර ප‍්‍රකාශ් මහත්මිය සහ දෙමළ ජාතික ප‍්‍රගතිශීලී පක්ෂය මහ ලේකම් ආරුමුගම් ජොන්සන්  යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක්  ඉදිරි ජනාධිපතිවරණයේ දී ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප‍්‍රධානී තිස්ස අත්තනායක මහතා විසින් අද (6) එම පිරිස පිළිගනු ලැබූහ.

එහිදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කර සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය විශාල ජනතා ආකර්ශනයක් මැද්දේ සාර්ථකව අවසන් වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් පාක්ෂිකයන් සහ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඇතුළු විශාල පිරිසක්  පාට, පක්ෂ, භේදයකින් තොරව සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාර වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අහිමි වූ බලය, තනතුරු, මුදල්  හා වරප‍්‍රසාද ලබා ගැනීමේ  වුවමනාවෙන් ජනාධිපතිවරණයට තරග කරද්දී සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් රට ගොඩනැගීමේ අරමුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් ඔහු පැවැසීය.

තමන් කිසි ලෙසකවත් ශ‍්‍රීලනිපය සිටියදී  මෙවර මැතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාසට සහය පළකරමින් ඡන්දය ලබාදෙන බවත් එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් සංවිධායිකා සහ කොළඹ නාගරික මන්ති‍්‍රනී උමාචන්ද්‍ර ප‍්‍රකාශ් මහත්මිය ප‍්‍රකාශ කළාය.

පොහොට්ටුව දිනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණය සමඟ එක්වීමට නොහැකි බවත් පැවසූ මන්ත‍්‍රීවරිය පක්ෂ නායකත්වය විසින් පාක්ෂිකයන් සහ සංවිධායකයින් අතරමං කර ඇති බවත් පැවසුවාය.

එම අවස්ථාවට එක්වූ දෙමළ ජාතික ප‍්‍රගතිශීලී පක්ෂයේ  මහ ලේකම් ආරුමුගම් ජොන්සන් මහතා ප‍්‍රකාශ කලේ ජාතික සමගිය ආරක්ෂා කරමින් රටේ සියලූ ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට බැවින් තමන් මෙම තීරණය ගත් බවයි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද එක්විය.