ඉරාන සටන් විරාමය දීර්ඝ කළා - ට්‍රම්ප්


ඉරානයට ලබා දුන් සටන් විරාමය, තවත් දීර්ඝ කිරිමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ඒ, ඇමෙරිකාව සමග එකගත්වයකට පැමිණීමට ඉරානයට අවස්ථාව දෙමිණි. 

සටන් විරාමය අද (22) අවසන් වන අතර, තමන් සමග පැහැදිලි එකඟතාවයකට පත් නොවන්නේ නම්, ඉරානයේ යටිතල පහසුකම්, පාලම්, පිරිපහදු සහ බලාගාර ඉලක්ක කර ගනිමින් දිගට හරහට බෝම්බ හෙලීමට ඇමෙරිකන් හමුදා සීරුවෙන් තබා ඇතැයි ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණේ සටන් විරාමය කිසිසේත් දීර්ඝ නොකරන බවත්, ඉරානයට එරෙහිව ප්‍රහාර ආරම්භ කරන බවත්ය. 
ඇමෙරිකාව සහ ඉරානය අතර සාම වැඩපිළිවෙළක් ඇති කිරීමේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට හමුදාපති අසීෆ් මුනීර් යන දෙදෙනා ට්‍රම්ප්ට දුරකතන ඇමතුම් දී දිගින් දිගටම ඉල්ලා ඇත්තේ සටන් විරාමය තවත් දීර්ඝ කරන ලෙසය. ඒ අනුව, සටන් විරාමය දීර්ඝ කෙරුණු බව ට්‍රම්ප් පවසා ඇත.

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත්තේ, ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, හෝමූස් හරහා සිදුවන ඇමෙරිකාවට හිතවත් රටවල නැව් ගමනාගමනය අඩපණ කරමිණි.

ට්‍රම්ප් මීට ප්‍රතිචාර දක්වමින්, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිවිසුම, ඇමෙරිකන් නාවික හමුදාව යොදවා අවහිර කර ඇත. ඒ, ඉරානයට අයත් කිසිදු නෞකාවකට හෝමූස් හරහා යෑමට හෝ ඒමට හෝ නොහැකි ලෙසිණි.

ඉරානයට අයත් චීනයේ සිට ආ අති දැවැන්ත ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ද පහර දී අල්ලා ගැනීමට ඇමෙරිකන් නාවික හමුදාව පියවර ගෙන ඇත. 

මේ නිසා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ඇමෙරිකා ඉරාන දෙවැනි වටයේ සාම කතා පාකිස්තානයේ පැවැත්වීමට නියමිත නමුත් ඊට සහභාගී නොවන බව ඉරානය තරයේ පවසා ඇත.

ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව, ඔවුන්ගේ ‘නාවික අවහිරතාව’ වහා ඉවත් කළ යුතු බවය. එසේ කරන්නේ නම් පමණක් තමන් සාකච්ඡා සඳහා යොමුවන බව ඉරානය තරයේ පවසා ඇත. ට්‍රම්ප් මීට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ පැහැදිලි එකඟතාවක් ඇති කර ගන්නා තුරු ‘නාවික අවහිරතාව’ ඉවත් කිරීමේ අදහසක් නැති බවය.