ඉන්දීය මැතිවරණයේ ජයග්‍රාහකයා සමඟ කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම්


ඉන්දීය මහ මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළ ද ඔවුන් සමඟ ඉදිරියට කටයුතු කරන බවත් මහ මැතිවරණය ක්‍රියාවලිය සාමකාමීව සහ සාධාරණව අවසන් වනු ඇති බවත් විශ්වාස කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

“ඉන්දීය මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් අපි ඔවුන් සමඟ වැඩ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය පැත්තෙන් මම කියන්න කැමැතියි. ඡන්දය ගණන් කිරීම, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු සමස්ත මැතිවරණ ක්‍රියාවලිය සාමකාමීව සහ සාධාරණ ලෙස අවසන් වනු ඇතැයි අප විශ්වාස කරනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඕසේගස් මහත්මිය ප්‍රකාශ කළාය.

“ඉන්දීය මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය නිසා අනෙක් රටවල් වගේ අපි ඉන්දියාවට මැතිවරණ නිරීක්ෂකයන් යවන්නේ නැහැ”  ද ඇය කීවාය.

“විවිධ අංශවලින් අපි ඉන්දියාවත් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා. ඉන්දියාව සමඟ අපට ඉතා ශක්තිමත් සබඳතාවක් තිබෙනවා. ඉන්දියාවේ අපේ අවංක සහ ශක්තිමත් උපායමාර්ගික පාර්ශවකරුවෙක්. ඒ බව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ද කිහිපවරක්ම පවසා තිබෙනවා” යැයි ඇය පැවැසුවාය.

ඉතා දැවැන්ත මැතිවරණයක ඡන්ද විමසීම සාමකාමීව අවසන් කිරීම සම්බන්ධයෙන් ඇය ඉන්දීය ජනතාව පැසසුවාය. 

“ඉන්දීය මහ මැතිවරණය මානව ඉතිහාසයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය බව කෙනෙක් මට අද මතක් කළා. ලෝකයේ හැමතැනම වෙන දේවල් ගැන බලද්දි එවැනි අති විශාලම මහ මැතිවරණයක් සාමකාමීව අවසන් කිරීම ගැන අපි ඉන්දීය ජනතාවට කෘතඥ වෙන්න ඕනේ” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ද හින්දු ඇසුරිනි 

 
055