ඉන්දියාව-ලංකාව එක්ව ගමනක් යා යුතුයි


(අංජුල මහික වීරරත්න)

ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය.

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සැමරුම් උත්සවය අමතමින් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කළේය. 

“සංහිඳියාවේ රිද්මය" නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊසානදිග ඉන්දියාවේ නාගලන්ද් ප්‍රදේශයෙන් බිහිවී, ලෝක පිළිගැනීමට ලක් වූ UDX සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ Heavy metal Quintet Band Stigmata සංගීත කණ්ඩායම එක්ව සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වය හා සාමය සහ සෞභාග්‍යය සඳහා වන දෙරටේම අපේක්ෂාවන් පිළිඹිබු කිරීම උදෙසා මෙම සංගීත කණ්ඩායම් දෙක තෝරාගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේය.