ඉන්දියාව අභිබවා යමින්, පාකිස්තාන දියුණුවෙන් දියුණුවට පත් කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවත්, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, තමන්ගේ නම ෂෙහ්බාස් ෂරීෆ් නොවන බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පුරසාරම් දොඩා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, දේශපාලන වේදිකාවේ පුරසාරම් දොඩන සහ අතිශෝක්තියෙන් කතා කරන චරිතයක් බවත් ද පෙන්වා දෙමින්, ඉන්දීය මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ. ෂෙහ්බාස් ෂරීෆ් යනු හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාය.
‘දෙවියන් වහන්සේ සැමවිටම පාකිස්තානය සමඟ ඉන්නවා. අපි දිවා රෑ නොබලා වෙහෙසෙනවා. පාකිස්තානයේ පවතින තත්ත්වය අපි වෙනස් කරනවා. ඉන්දියාව පරාජය කරන්න අපට හැකිවෙනවා’ යැයි අග්‍රාමාත්‍ය ෂරීෆ් කෑ කෝ ගසා ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ පැවැති ජන රැළියක් අමතමිනි.
පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින අතර, අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ණය ආධාර ලැබෙයි. පාකිස්තාන වැසියන් ජීවත් වන්නේ දැඩි අසීරුතා මධ්‍යයේය. පාකිස්තාන වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන බවට ද අග්‍රාමාත්‍ය ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ ජන රැළිය අමතමින් කෑ කෝ ගැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පාකිස්තානය ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ රජය චෝදනා කරයි.
(එන්.ඩී.ටීවී.)