
(අංජුල මහික වීරරත්න)
ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එය ගෝලීය වශයෙන් සිදුවන කැළඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පිටුවහලක් වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, රත්මලාන ඊගල් ලේක් සයිඩ් පරිශ්‍රයේ පැවැති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය අමතමිනි.
මෙහිදී ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලව සාර්ථකව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 36 දෙනෙකු වෙත උපාධි පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණ.
ජාතික ආරක්ෂක විද්‍යායතනයේ වාර්ෂික ග්‍රන්ථයේ පළමු මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු වූ අතර, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් ඩී. ජී. එස්. සෙනරත් යාපා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණ.



