
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට" සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමිනි.
මන්නාරම නගර ශාලාවේදී පැවති මන්නාරම දිස්ත්‍රික් "තරුණ සමුළුවට" ජනාධිපතිවරයා පළමුව එක් විය. "දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්" මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024 අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය. උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

