
(ගයාන් සූරියආරච්චි, තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමෙන් අපවත් වූයේ කලපලුවාවේ ධම්මරතන නැමැති (45) හිමිනමක බව පොලිසිය කියයි.
අපවත්වූ හිමිනම හේනේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කර ඇති අතර එම විහාරස්ථානයේ කලක පටන් පැවැති ඉඩම් ආරවුලක් මත මෙම හිමිනම මල්වතුහිරිපිටිය විහාරස්ථානයට පැමිණ දානය වළඳා නැවත හේනේගම විහාරස්ථානයට වැඩම කරන බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
සිද්ධිය වූ අද (23) මෙම හිමිනම දහවල් 12.15 ට පමණ විහාරස්ථානයේ දානය වළඳමින් සිටින අවස්ථාවේදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා හිමිනම සතුව මත්කුඩු තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමට පැමිණි බව පවසා ඇත. පසුව හිමිනම පරීක්ෂා කරන මුවාවෙන් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලාගොස් ඇත බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.
(ඡායාරූප: සුදත් පුබුදු කීර්ති)

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


