ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන්ට තලේබාන් ප්‍රහාරයක්


තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 41 දෙනෙක් තුවාල ලැබූහ.
 
ඇෆ්ගනිස්තාන හමුදා කොමාන්ඩෝ භටයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන ඇෆ්ගන් ආණ්ඩුව, තලේබාන් සංවිධානය සමඟ පැවැත්වූ සාම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරමින් සිටින මොහොතක මෙම ප්‍රහාරය එල්ල විය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
 
ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසට වන්නට පිහිටි බාල්ක් පළාතේ ස්ථානයකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර තමන් කොමාන්ඩෝ භටයන් වෙත ප්‍රහාරයක් එල්ල කළේ යැයි තලේබාන් සංවිධානය සඳහන් කර තිබිණි.
 
 
කොමාන්ඩෝ භටයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් තවත් හය දෙනකු තුවාල ලැබූ බවත් මියගිය සහ තුවාල ලැබූ ඉතිරි සියලු දෙනා සිවිල් වැසියන් බවත් ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
 
ප්‍රහාරය එල්ල වූයේ සාම ක්‍රියාවලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තලේබාන් දූත කණ්ඩායමක් පාකිස්තාන අගනුවරට ළඟා වී සිටින අවස්ථාවකදී ය. ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් මෙම සාම ක්‍රියාවලිය සිදු වේ.
 
 සාම ක්‍රියාවලියේදී එකඟත්වය ඇති කරගෙන ඇති පරිදි තලේබාන් සංවිධානයට ආරක්ෂාව ලැබෙන අතර ඒ වෙනුවෙන් ඇමෙරිකාව සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට නියමිතය. එමෙන්ම එහි කොන්දේසි අනුව තලේබාන් සංවිධානය ඇෆ්ගන් ආණ්ඩුව සමඟ බලය බෙදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද පොරොන්දු වී ඇත.
 
මෙය සාමය උදා කරගැනීමට ඇති හොඳම අවස්ථාව යැයි ඇෆ්ගනිස්තානයේ බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටිති. ඇෆ්ගනිස්තාන යුද්ධය ආරම්භ වූයේ 2001 වසරේ දීය. සාම ක්‍රියාවලිය ආරම්භ වූ නමුදු ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් සිදු ව නැත.
 
ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සාකච්ඡා සඳහා අවශ්‍ය විශ්වාසයට බාධා එල්ල වී ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ නිලධාරීහු පෙන්වාදෙති.
 
සාකච්ඡා ආරම්භ කිරීමට නම් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්නැයි ඇෆ්ගන් ආණ්ඩුව ඉල්ලීමක් කර ඇති නමුත් තලේබාන් සංවිධානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිත ය.
 
තලේබාන් සංවිධානය ඇතුළු ඇෆ්ගනිස්තානයේ විවිධ කණ්ඩයම් සමඟ සම්බන්ධකම් පවත්වන පාකිස්තානය පසුගිය කාලයේදී ප්‍රචණ්ඩ ක්‍රියා අඩු කිරීම සඳහා ඒ ඒ කණ්ඩායම්වලින් ඉල්ලීම් කරමින් සිටින බව ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු පවසති.
 
ඉස්ලාමාබාද් නුවරට පැමිණ සිටින තලේබාන් සංවිධානයේ නියෝජිතයන් සහ පාකිස්තාන බලධාරීන් අතර සාකච්ඡා කෙරෙන්නේ මොනවාදැයි මෙතෙක් පැහැදිව වාර්තා වී නොමැත.
 
(රොයිටර්  055)