ඇමෙරිකාවේ පාසලක බල්බ 7000ක් නිවන්න බෑ


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට පැය 24 පුරා දැල්වුණු විදුලි බල්බ 7000 ලබන මාසයේ නිවා දැමීමට හැකියාව ලැබෙනු ඇතැයි එම පාසලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට විදුලි බල්බ 7000ක්  පැය24 පුරා දැල්වෙන බවත් එසේ සිදුවන්නේ ප්‍රධාන පරිගණක පද්ධතියේ දෝෂයක් නිසාවෙන් බැවින් එම විදුලි බල්බ 7000 මේ දක්වා නිවා දැමීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවත් පාසල් බලධාරීන් පවසා ඇත.

මේ හේතුවෙන් බදු ගෙවන්නන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව තමන් දන්නා බවත් ගැටලුව විසඳීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත බවත්  එම පාසලේ මූල්‍ය නිලධාරී ඇරොන් ඕස්බෝර්න් පවසා ඇත.

ප්‍රධාන පරිගණක පද්ධතිය සවිකර සමාගමේ හිමිකාරීත්වය කිහිපවතාවක්ම වෙනස් වීම හේතුවෙන් සහ අමතර කොටස් නොමැති වීම හේතුවෙන් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වූ බව පාසල් බලධාරීන් පෙන්වා දී තිබේ.

ඇතැම් ගුරුවරුන් පාසල අවසානයේ විදුලි බල්බ ගලවා තබා විදුලි බිල ඉතුරු කර ගැනීමට උත්සාහ දැරූ බවද පාසල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.

අවසානයේදී පරිගණක පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් ලැබී ඇති බවත් ලබන මාසයේ පරිගණක පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා දින යොදාගෙන ඇති බවත් පාසල් බලධාරීන් පෙන්වා දී තිබේ.