ආයුර්වේද රෝහලුත් කොරෝනා ප්‍රතිකාර අරඹයි


(සුජිත් හේවාජුලිගේ )

රටපුරා ආයුර්වේද රෝහල් ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට රජයේ අනුමැතිය හිමි වී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන සහ ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය .

මේ අනුව රාජගිරිය ආයුර්වේදරෝහල නාවින්න ආයුර්වේද රෝහල ඇතුළු රට පුරා සියලු ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ඉදිරියේදී පරිවර්තනය කරන බව රාජ්‍ය ඇමතිවරයා කීය.

මෙහි මුල් අදියර යටතේ බොරැල්ල ආයුර්වේද රෝහලත් නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයත් පල්ලෙකැලේ ආයුර්වේද රෝහලත් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බව සිසිර ජයකොඩි මහතා පැවසුවේය.

ආයුර්වේද රෝහල් වලට යොමු කෙරෙන රෝගීන් සඳහා දේශීය ඖෂධ සැපයීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.

රට පුරා සියලු ආයුර්වේද රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කරන්නැයි විවිධ අංශවලින් රජයට ඉල්ලීම් ගණනාවක් ලැබී තිබිණ .

රටපුරා ආයුර්වේද ප්‍රධාන රෝහල් තිහකට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.