
දියවඩන නිලමේ වරයා සම්බන්ධයෙන් පටු අරමුණින් විවිධ බාහිර පාර්ශව සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් ලෝකයා ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වෙමින් පවතින බව මල්වතු අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරු විශේෂ නිවේදනයක් මගින් දැනුම් දෙති.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
එම අපහාසාත්මක ප්‍රචාර නිසා බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජ ගත වීමත් සංවේගයට කරුණකි.
ඇතැම් සංවිධාන හා පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි ගිහි තනතුරු පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සාම්ප්‍රධායික බෞද්ධ සිද්ධස්ථාන හා සැබැඳි චාරිත්‍රයන් සම්බන්ධයෙන් ඍණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමඟියට හේතූවන අනවශ්‍ය සංවාද ඇති කිරීමට ද කටයුතු කිරීම මේ දිනවල බහුල වශයෙන් දැකිය හැකිය. මෙය හුදෙක් පුද්ගලානුබද්ධව ලඝු කොට සැලකිය හැකි සිද්ධියක් නොව සමස්ත ලංකාවාසී බෞද්ධයාගේ ප්‍රතිරූපය හායනයට හේතුවන බරපතල ඛේදවාචකයක් බවට මේ වන විට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ශ්‍රී දළදා මාළිගාවේ චිරාගත චාරිත්‍රයන් ආරක්ෂා කොට පවත්වාගෙන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්ෂාව උදෙසා භාරදූර වගකීම පැවරෙන දියවඩන නිලමේවරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ ප්‍රබෝධය සඳහා උරදෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එකී කාර්‍ය සාධනයේ අවශ්‍යතාව හා වගකීම් සමුදාය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාව නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධූරය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුගේම වගකීම විය යුතු බව මෙහිලා තරයේ අවධාරණය කර සිටිමු.
පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාල සීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදු කරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියවඩන නිලමේ ධූරය , බස්නායක නිලමේ ධූරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳී නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලූම අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධරණය කර සිටිමු.
1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කර ගැනීම සිදු කෙරේ. මේ වන විට වර්තමාන දියවඩන නිලමේවරයාගේ ධූර කාලය අවසන් වී ාභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීමේ කටයුතු සිදු කර ගනිමින් පවතී. ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වන බව අප හට දැනගන්නට ලැබී ඇත. තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශව මගින් සිදු කරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්විමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණකි.
සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ සිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන්ද බෞද්ධ රටවල් තුළ දියවඩන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දළදා වහන්සේ වෙත සිදු කළ යුතු චිරාගත පූජා චාරිත්‍රයන් සිදු කිරීමේ භාරධුර වගකීම හිමිවන දියවඩන නිලමේ ධූරයේ කටයුතු මල්වතු - අස්ගිරි උභය මහාවිහාරීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදු කළ යුතු අතර එය ගෘහස්ථයෙකු විසින් ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනය හා සැබැඳිව දැරිය හැකි ඉහළතම තනතුර බව නොරහසකි.

