අවුරුදු 102ක කාන්තාවක් කොරෝනාවෙන් මරුට


(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල නගර සීමාවේ පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 102ක් වූ කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පවසයි.

ඇය තම නිවසේ දී ම ඊයේ (06) මියගොස් ඇති අතර දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (07) උදෑසන ලැබී තිබේ. ඉන් තහවුරු වී ඇත්තේ ඇය මියයන විට කොරෝනා ආසාදනය වී සිටි බවය.

මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ වයස්ගතම කොරෝනා මරණය විය හැකියැයි ද වෛද්‍යවරු කියති.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දේහයේ ආදාහන කටයුතු අද සවස සිදුකිරීමට නියමිත බව නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසයි.