අලි කළ අලි විනාශය


(කාංචන කුමාර ආරියදාස  )

දඹුල්ල , පහළවැව ග්‍රාම සේවා වසමේ අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයට  යාබඳ ඉඩමට ඊයේ ( 02 ) රාත්‍රියේ කඩා වැදුණු වන අලි රංචුවක් එහි නිවසක් කඩා බිඳ දමා  ගබඩා කර තිබූ වී ආහාරයට ගෙන අක්කර හතරකට අධික එළවලු කෙසෙල්  පොල් ආදී වගාබිමක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වසර කිහිපයකට ඉහතදී වන අලින් කණ්ඩායමක් මෙම ප්‍රදේශය හරහා ගමන් කිරීමක් පමණක් ජනතාවට මතක තිබෙන බවත් එහෙත් එකවරම නගර මධ්‍යයට  පැමිණ මෙවැනි විනාසයක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය බවත් පෙන්වා දෙන ඔවුහු ජීවිත අවදානමක් පවතින බව ද පෙන්වා දෙති.

මධ්‍යම රාත්‍රී දොළහට පමණ මෙම වන අලි රංචුව ප්‍රධාන මාර්ගය දිගේ පැමිණ අතුපාරයය  ශ්‍රී බෝධිරුකාරාම විහාරයට යාබද වගා භූමියට ඇතුළු වී එහි තිබූ එළවලු භව භෝග මඤ්ඤොක්කා ආදී සියල්ල විනාශ කරමින් ආහාරයට ගෙන එම ඉඩමේ තිබුණු ගබඩා කාමරයේ ස්ථාන කිහිපයකින් පෙරළා දමා ගබඩා කර තිබූ වි ආහාරයට ගෙන තිබේ.

අවට කැලෑ බද ප්‍රදේශ සියල්ල ම සංචාරක හෝටල්වලට මෙන්ම හමුදා වලට කඳවුරු සඳහා යොදාගෙන වන අලින්ට නිදහසේ රැඳී සිටීමට තිබුණු භූමි අහිමිවීම හේතුවෙන් වන අලින් රංචුපිටින් මෙවන විට නගරයට කඩා පැනීමට පුරුදු වීම හේතුවෙන් ජනතාව දැඩි අවදානමකට ලක්ව තිබෙන බව ජනතාව පෙන්වා දෙති .

කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති .