(මුදිතා දයානන්ද)
හදිසියේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අරුවක්කාලු කසළ රඳවනයේ කසල තැන්පත් කිරීම නිසි පරිදි සිදුකළ නොහැකි වීමෙන් දුර්ගන්ධයක් ඇති වූවත් මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
අරුවක්කාලු කසළ රඳවනය වෙත දිනකට කොළඹ නගර සභාවෙන් ලොරි 28- 29ක් පමණ ගෙන යන අතර අධික වර්ෂාව නිසා එකවරම කසල රඳවන වෙත තැන්පත් කිරීමට නොහැකි වූ බවද ඒ නිසා ඒවා තාවකාලිකව පිටත තැන්පත් කර ටිකෙන් ටික රඳවනයට යොමු කළ බවද ඔහු පැවසීය.
මෙලෙස රඳවනයෙන් පිටත කසළ තැන්පත් කිරීමත් අධික වර්ෂාවත් නිසා දුර්ගන්ධයක් පිටතට ඇතිවූ බව පිළිගන්නා බවද ඔහු පැවසීය.
නිලධාරින් ප‍්‍රමාණය හා සේවකයින් ප‍්‍රමාණය , දුර්ගන්ධය වැළැක්වීමට යොදාගන්නා රසායනික හා එවා ඉසින නවීනතම යන්ත්‍ර සූත‍්‍ර ප‍්‍රමාණය හා කසළ පස්දමා තැලීමට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර ප‍්‍රමාණයද වැඩිකර දිවා රාත‍්‍රී වෙහෙසී මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවද රූපසිංහ මහතා පැවසීය.
මාධ්‍යවල ප‍්‍රචාරය වූ පරිදි විදේශ කසළ කිසිවක් මෙම රඳවනය වෙත ගෙන එන්නේ නැති බවද ඔහු පැවසීය.

