අරගලය අස්සේ සෙබළුන්ගේ අවි උදුරන් යයි


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල පොල්දූව හංදියේ ඊයේ (13) ඇති වු නොසන්සුන්තාව අතරතර ප්‍රකෝප වු පිරිස් එහි ආරක්ෂාවට කැඳවා සිටි හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දී බරපතල තුවාල සිදුකර ඔවුන් සතුව තිබු ටී 56 ගිනි දෙකක් පැහැගෙන ගොස් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.

පිරිසගේ අමානුෂික යකඩ පොලු ප්‍රහාරයට ලක්ව සෙබළුන් දෙදෙනා හිසට හා මුහුණට බරපතල තුවාල සිදුව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

හමුදා සෙබළුන් දෙදෙනාගේ ගිනි අවි දෙක සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, එය භාවිතා කරමින් ඉදිරියේ කිසියම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවත්, ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසට හමුදාව ඉල්ලා සිටියි.

---------------------------------------------------------------------------------------------------

7.40 Am

(ඉන්දිකා රාමනායක)

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ(13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් කල් දුව මහතා පවසයි.

මෙහිදී හමුදා සෙබළකු සහ පොලිස් කොස්තාපල්වරයකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර හමුදා සෙබලා බාරයේ තිබූ ටී 56 ගිනි අවිය , ජීව උණ්ඩ 60 මැගසින් දෙකක්, මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ගිනි අවිය පැහැරගැනීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී නැත.

පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ යුධ හමුදා සාමාජිකයා රෝහල්ගත වී ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

පොලිස් කොස්තාපල්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයකු බවත්, හමුදා සෙබලා වැල්ලවාය දේශය කඳවුරක රාජකාරි කරමින් සිටින්නකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.