අය වැයට කඳුරට පෙරමුණේ ඡන්දය වැට උඩ


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවත් එයට ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ රජය මැදිහත්වී විසඳුමක් ලබා නොදුනහොත් මෙවර අය වැයේදී රජයට සහාය දෙනවාද නැද්ද යන්න සලකා බැලිය යුතු බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය හා කඳුරට ජනතා පෙරමුණේ නායක වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා අද (25) නුවරඑළියේදී පැවැසීය.

නුවරඑළියේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

          ‘‘අද ලංකාවේ කතා කරන ලොකු මාතෘකාවක් තමයි වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය. මාස තුන හතරකට කලින් වෘත්තීය සමිති කීපයක් පඩි ප්‍රශ්නය ගැන හාම්පුතුන් සමඟ කතා කරලා රුපියල් 1000 ක දිනක වැටුප ඕනෑ කියල ඉල්ලීමක් කරලා තියෙනවා.

නමුත් හාම්පුතුන්ගේ සංගමය අද (25) රැස්වෙලා මූලික පඩිය රුපියල් 600 කට වැඩිය දෙන්න බෑ කියලා තියෙනවා.

මේ ගැන කතා කරන්නේ වතු කම්කරුවෝ පමණක් නොවෙයි. උතුරු නැගෙනහිර පළාතෙත් මේක ගැන කතා කරනවා. ඉස්සර කඳුරට පමණයි මේ ප්‍රශ්නය.

දැන් වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට ආණ්ඩුව මැඳිහත් විය යුතුයි කියලා. මේ ප්‍රශ්නයට ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේම කම්කරු ඇමැතිතුමාත් මැදිහත්වෙලා විසඳුමක් දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

මේකට විසඳුමක් නොලැබුණහොත් එළඹෙන අය වැයේදී අපිට තීරණයක් ගන්න වෙනවා. අපි දෙමළ ප්‍රගතිශිලි සන්ධානය හැටියට මන්ත්‍රිවරු 06 දෙනෙක් ඉන්නවා. අපිට යම්කිසි තීරණයක් ගන්න වෙනවා. අපි ආණ්ඩුවට සහයෝගය දෙනවාද නැද්ද කියලා සලකා බලන්න වෙනවා කියලා අපේ සංගමය කතා කරලා තිබෙනවා. එම නිසා ආණ්ඩුව මේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් දෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.‘‘